උඩරට රාජධානියේ අභිමානය රැකදුන් කීර්තිමත් ගලගොඩ පරපුර


උඩරට රාජධානියේ අභිමානය රැකදුන් කීර්තිමත් ගලගොඩ පරපුර 


 වර්ෂ 1505 සිට 1815 වසර තෙක්‌ කන්ද උඩරට රාජධානිය, පෘතුගීසි, ලන්දේසි සහ බ්‍රිතාන්‍යය යටත්විජිත වාදීන්ට යටත් කර ගැනීමට නොහැකි විය. යුරෝපීයන්ගේ දියුණු, අසමසම, නවීන ආයුධ බලය හමුවේ, දශක තුනක්‌ පුරා පරාජයක්‌ අත්කර දී සිය ස්‌වාධීනත්වය මහනුවර රාජධානිය රැකගත්හ. සමහර ඉතිහාසඥයන් මෙයට ප්‍රධාන හේතූන් ලෙස උඩරට රාජධානිය ඝන වනාන්තරවලින් වැසී තිබීමත්, කඳු වළලුවලින් ආරක්‍ෂා වී තිබීමත්, මාර්ග පහසුකම් දුෂ්කර වීමත් වැනි කරුණු නිසා හුදෙකලා වී තිබීම ආදිය එයට හේතු ලෙස දක්‌වයි. නමුත් ඉහත දක්‌වන ලද දුෂ්කර ස්‌වාභාවික තත්ත්වයන් නොමැති පහතරට මුහුදුබඩ ප්‍රදේශයන්ට ආසන්න, සබරගමුව (වර්තමාන රත්නපුර දිස්‌ත්‍රික්‌කයට අයත් ප්‍රදේශ) සතර කෝරළය සහ තුන් කෝරළය (වර්තමාන කුරුණෑගල දිස්‌ත්‍රික්‌කය) සත් කෝරළය (වර්තමාන අනුරාධපුර දිස්‌ත්‍රික්‌කය), තමන්කඩුව (වර්තමාන පොළොන්නරු දිස්‌ත්‍රික්‌කය), පහළ ඌව (වර්තමාන මොණරාගල දිස්‌ත්‍රික්‌කය), රුහුණේ සමහර ප්‍රදේශ (කතරගම), උඩරට රාජධානියේ රජුන් විසින්, පහතරට සිටි යුරෝපීය ආක්‍රමණිකයාගෙන් රැකගත්ත. එසේම මෙම බොහෝ ප්‍රදේශවල ආරක්‍ෂාවට කඩවත්, මුරපොළ සහ බලකොටු ආදිය පිහිටුවා තිබුණි. සමහර අවස්‌ථාවන්හිදී උඩරට රාජධානියේ සීමාවන්. ත්‍රිකුණාමලය, මඩකලපුව, පානම, පොතුවිල වැනි මුහුදුබඩ ප්‍රදේශ දක්‌වාද ව්‍යාප්ත වී තිබුණි. එසේම මාතර, ගිරුවාපත්තුව වැනි ප්‍රදේශ සඳහා පහතරට දිසාව නමින් තනතුරුද පිහිටුවා තිබුණි. එසේනම් පහතරට සහ මුහුදුබඩ ප්‍රදේශයන්ගේ සෑහෙන වපසරියක්‌ අත්කරගෙන සිටි දැවැන්ත නාවික බලයකට හිමිකම් කිවූ, වෙනත් යටත් විජිතයන්ගේ ධනයෙන් හා පිරිස්‌ බලයෙන් ගොඩනැගුණු නවීන අවි ආයුධ සහ කැරලි හේවායන්ගෙන් සමන්විත වූ යුරෝපීය ආක්‍රමණිකයන් හමුවේ උඩරට රාජධානියේ බල පරාක්‍රමය සහ ස්‌වාධීනත්වය ආරක්‍ෂා වීමට වෙනත් සාධකද බලපා ඇති බව මෙයින් පැහැදිලි වේ.

මහනුවර රාජධානි සමය ගැන ලියෑවී ඇති නොයෙක්‌ මූලාශ්‍රයන්ගෙන්, ජනප්‍රවාදයන්ගෙන් සහ එම යුගය ගැන විවිධ පර්යේෂණයන්හි නියෑළුණු බොහෝ වියතුන් පළකරන ලද අදහස්‌ කිහිපයක්‌ මෙහිදී සඳහන් කිරීම කාලෝචිතය. විශේෂයෙන්ම උඩරට රාජධානියේ රජුගේ හමුදාවට දියුණු ගිනි අවි, අගනා වෙඩි බෙහෙත්, කාලතුවක්‌කු වැනි ආයුධ හිඟ වුවත් නිර්භීත, වනාන්තර සහ දුර්ගයන්හිදී අති දක්‍ෂ ලෙස සටනෙහි යෙදෙන ලෙහෙසියෙන් වෙහෙසට පත් නොවන යුද සෙබළුන් පිරිසකගෙන් යුක්‌ත විය. රජුගේ හමුදාවේ යුද සෙබළුන් සුදලියේ සහ මරු වල්ලියේ යන පාර්ශ්වයන්ට අයත් ඉලංගම් මඩු හෙවත් යුද සරඹ පාසල්හි මනා ලෙස කඩු ශිල්පය, පොලු හරඹ, මල්ලව පොර, දුනු ශිල්පය, කරණම් ගැසීම් වැනි ශිල්ප හදාරා මනා යුද පුහුණුවක්‌ ලැබූවන් විය. එසේම මෙම යුද සෙබළුන්ට නායකත්වය දෙනු ලැබූ රජුගේ බොහෝ දිසාපතිවරුද රණශූර අංගම් සහ යුද ශිල්පයේ කෙළ පැමිණියන් වූහ. රජුගේ ප්‍රධාන දිසාවේවරු සහ ප්‍රධාන නිලමේවරු අතර තනතුරු සහ බලලෝභීත්වය සම්බන්ධයෙන් විවිධ කුමන්ත්‍රණ සහ පාවාදීම් පැවැතියත් බොහෝ ප්‍රධාන නිලමේවරුන් රජුට පක්‍ෂපාතී විය. විශේෂයෙන් නායක්‌කාර වංශිකයන්, රාජ්‍යත්වයට පැමිණීමෙන් පසුව වුවද සිංහල රාජ්‍ය පරම්පරාවක්‌ ස්‌ථාපිත කිරීමට විවිධ කුමන්ත්‍රණ පැවැතියත් ලන්දේසි සහ බ්‍රිතාන්‍ය ආක්‍රමණිකයන් හමුවේ එම මතභේද පසෙකලා උඩරට ජනතාව නායකයන් රජු හා එක්‌වී ආක්‍රමණිකයා පරාජය කිරීමට අදිටන් කරගත්හ. නමුත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ රාජ්‍යත්වයේ අවසාන අවුරුදු කිහිපය සම්බන්ධයෙන් මෙම කරුණ සත්‍ය නොවේ. උඩරට ප්‍රධාන නිලමේවරුන්ගේaත්, සාමාන්‍ය ජනතාවගේත් හැසිරීම් සහ චරිත ස්‌වභාවය ගැන අපක්‍ෂපාතී විග්‍රහයක්‌ බ්‍රිතාන්‍ය ආණ්‌ඩුකාර රොබට්‌ බ්‍රවුන්රිග්ගේ ප්‍රධාන වෛද්‍යවරයා වූ වෛද්‍ය හෙන්රි මාර්ෂල් සිය "සිංහලේ" නම් කෘතියේ මෙසේ සඳහන් කරයි.

"උඩරැටියෝ ශක්‌ති සම්පන්නය. නිර්භීතය, බොහෝ රටවල කඳුකර වැසියන් මෙන් තම ජන්ම ප්‍රවේණි කඳු බිම්වලට බලවත් සේ ප්‍රේම කරති. ඔවුහූ බොහෝ අවස්‌ථාවන්හිදී නිදහස පිළිබඳ ප්‍රබල ප්‍රේමයක්‌ නොහොත් යටත් පිරීසෙයින් විදේශිකයන් විසින් ජයගනු ලැබීම පිළිබඳ බලවත් පිළිකුලක්‌ පැහැදිළි සේ පෙන්වූහ." එසේනම් යුරෝපීය යටත් විජිත ආක්‍රමණිකයාට උඩරට රාජධානිය යටත් කරගැනීමට අපහසුවීමට බලපෑ ප්‍රධාන සාධකයක්‌ වූයේ ස්‌වභාව ධර්මයෙන් ලැබූ ආරක්‍ෂාවටත් වඩා උඩරට ජනතාව තුළ සහ එහි වැසියන්ගේ නායකයන් තුළ පැවති ස්‌වාධීන චින්තනය, උපන් බිම කෙරෙහි පවතින දැඩි දේශප්‍රේමය සහ සංග්‍රාමයෙහි දක්‌වන නිර්භීSතභාවය වැනි කරුණු බව පෙනේ. මෙම ලිපියෙන් විස්‌තර කරන ගලගොඩ පරපුර හා බැඳි ඓතිහාසික තොරතුරු හා ජනප්‍රවාදයන්ගෙන් එය මනාව පැහැදිළි වේ.

උඩරට රාජධානිය යටත්කර ගැනීමට උත්සාහ කළ පෘතුගීසි, ලන්දේසි සහ බ්‍රිතාන්‍යය යන යුරෝපීය ජාතීන් ත්‍රිත්වයටම එරෙහිව සිය දිවි දෙවෙනි කොට සටන් වැද එම අවධීන්හි විසූ රජවරුන්ගේ සම්මානයට පාත්‍ර වූ පරපුරක්‌ ලෙස ගලගොඩ පරපුර සැලකිය හැක. පාත හේවාහැට හේවාවිස්‌ස කෝරළයේ ගලගොඩ ග්‍රාමය මෙම පරපුරේ ජන්ම භූමිය වේ. ගලගොඩ රාජකරුණා රාජපක්‍ෂ පණ්‌ඩිත වාහල මුදියන්සේ යනුවෙන් එම පරපුරේ වාසගම හැඳින්වේ. කන්ද උඩරට රජකළ සෙනරත් රජුගේ කාලයේ පෘතුගීසි ආක්‍රමණිකයාට අන්ත පරාජයක්‌ අත්කර දුන් ඓතිහාසික රන්දෙණිවෙල සටනේදී එවකට සිටි ගලගොඩ දිසාවේවරයෙක්‌ මහත් දස්‌කම් පා සම්මානයට පාත්‍රවිය. පහතරටින් උඩරට රාජධානියට ආක්‍රමණයන් එල්ල වී ආක්‍රමණික හමුදා උඩරට රාජධානියට ඇතුළුවන ප්‍රධාන දොරටු දෙකක්‌ ලෙස සැලකුයේ කොළඹ දෙසින් සතර කෝරළය(කෑගලු ප්‍රදේශය) ඔස්‌සේ මහනුවරට පිවිසෙන මාර්ගයත්, දකුණු ප්‍රදේශයේ සහ නැගෙනහිර ප්‍රදේශයේ ආක්‍රමණික හමුදා ඌව පළාත ඔස්‌සේ මහනුවරට පැමිණිය හැකි මාර්ගයන්ය. එබැවින් එකල විශේෂ සංග්‍රාම උපායක්‌ ලෙස සංග්‍රාමයෙහි දක්‍ෂ, රජුට ඉතා විශ්වාසී වූ දිසාවේවරුන් දෙපළත් සතර කෝරළයට සහ ඌවට පත්කරන ලදී. ඒ අනුව කන්ද උඩරට රාජධානියේ ඌව මහ දිසා තනතුර අවස්‌ථා කිහිපයකදී ගලගොඩ පරපුරේ දිසාපතිවරුන් විසින් උසුලන ලදී. මේ සම්බන්ධයෙන් සෙනරත් රජු සහ දෙවන රාජසිංහ රජු සමයට අදාළව රසවත් ජනප්‍රවාදයක්‌ පහත සඳහන් කරමි.

සෙනරත් රජතුමාගේ අග බිසව වූ කුසුමාසන දේවිය මියයාමෙන් අනතුරුව ඔවුනගේ එක්‌ පුතෙක්‌ වූ මහා අස්‌ථාන කුමරුගේ කිරිමව් තනතුර ලැබීමට එකල ගලගොඩ පරපුරේ දුක්‌ගන්නා නිලයක්‌ දැරූ අයකුගේ ඇඹණිය තෝරා ගන්නා ලදී. කිරිමව් තනතුරට තෝරාගනු ලබන්නේ ඉතා වංශවූත්, නිරෝගි වූත්, දැකුම්කළු කාන්තාවන්ය. මෙම ගලගොඩ දුක්‌ගන්නාරාළට සහ කිරිමවට රජ කුමරු හා සම වයස්‌ පුතෙක්‌ ද වූහ. දෙදෙනාම කුඩා කාලයේ පටන් රජවාසල කෙළි දෙලෙන් ගතකළ අතර පසුව ශිල්ප ශාස්‌ත්‍ර සහ යුද ශිල්පය එක්‌ව හදාරන ලදී. දෙදෙනාම සමීප මිතුරන් වූ අතර දිනක්‌ ගලගොඩ තරුණයා කුමරුගෙන්  ඔබ රජ වූ කලෙක මට කුමන තනතුරක්‌ ලබා දෙන්නේද යනුවෙන් විමසන ලදී. කුමරු එවිට මහත් අභිමානයෙන් යුතුව මම තට ඌවේ දිසා තනතුර ලබාදෙමි" යෑයි පැවැසීය.
ලබන සතියට

වෛද්‍ය ඒ.එම්.යූ.ඒ.බී. අදිකාරි
(2010-08-08) දිවයින පුවත්පත් ලිපියකි.
SHARE

Milan Tomic

Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment