ගලගොඩ පරපුර 04
අධිරාජ්‍යවාදීන්ගෙන් ගලගොඩ පවුලට ගැහැට...
පසුගිය සතියෙන්...
ගලගොඩ නිලමේ
සිංහල හේවායිනට සුදුසු ත්‍යාග ප්‍රදානය කොට ඔවුන් රජුගේ හමුදාවට එක්‌කර ගන්නා ලදී. පොත් ගොඩක් සේ මළ මිනී ගොඩ කළ ස්‌ථානය වර්තමානයේද පොත්ගොඩ නමින් හඳුන්වයි. අවසන් ගලගොඩ දිසාපති තුමා කඩු ශිල්පයේ කොතරම් කෙළ පැමිණියේද යත් තමන්ගේ සිරුරේ සම්පූර්ණයෙන්ම හඳුන් කල්ක ආලේපකර කඩුව සිරුර වටා කරකවා සියලුම හඳුන් කල්ක සිරුරෙන් ඉවත් කිරීමට හැකියාව තිබූ බව පැවැසේ. ගලගොඩ දිසාපතිතුමා සිය මහලු වයසේදී පවා අයෝමය කාය ශක්‌තියෙන් තරුණයන් අභිබවා සිටි අයෙකු බව තවත් ජනප්‍රවාදයකින් හෙළිවේ. සිය වලව්ව අසල මහ කුඹුරේ ගොයම් කපා රාත්‍රියේ කොළමැඩවීම හෙවත් කොළදිම සිදුකරමින් තිබූ දිනයක එකල මහළු වයසේ සිටි දිසාව පැමිණියේය. කොළදිමට පැමිණි ගැමියන්ගේ බලවත් පෙරැත්තය නිසා තරුණ කාලේ කළ හපන්කමක් කර පෙන්වීමට දිසාවට සිදුවිය. ඒ අනුව කඩුවක් වෙනුවට ශක්‌තිමත් පොල්ලක් දිසාව ලබාගත්තේය. එතැන සිටි ගැමියන් හතර දෙනකු සිව් කොනේ සිටුවා එම ස්‌ථානයේ ගල් රැස්‌කර තමන් වෙත හැකිතරම් වේගයෙන් වෙරදමා ගල් දමා ගසන ලෙස ඉල්ලා සිටියේය. දිසාව අත රැඳි පොල්ල ඉතා වේගයෙන් භ්‍රමණය වෙමින් දිසාව වටා වළල්ලක් සෑදෙන ලෙස දිස්‌විය. විසීකරන ලද ගල් එකක් වත් සිරුරේ නොවැදී කරකවන ලද පොල්ලේ වැදී ඉවතට විසිවූ අතර කඩුවක් ලදොත් මේ වයසේදී වුවද සතුරන් පෙති ගැසිය හැකි බව ගැමියන්ගේ ප්‍රීතිඝෝෂා මධ්‍යයේ පැවැසීය.
ගලගොඩ දිසාපතිතුමා එවකට සිට රදළවරුන් කිහිප දෙනකු මුල්වී ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංග්‍රීසින්ට අල්ලා දීම ගැනත් රජු සිරගත කර කොළඹට පිටුවහල් කිරීම ගැනත් සිටියේ බලවත් අමනාපයෙනි. බොහෝ ප්‍රධාන නිලමේවරුන් සුප්‍රසිද්ධ උඩරට ගිවිසුමට නොපැකිල අත්සන් කරත්, නුවර කලාවිය දිසාව ලෙස ගලගොඩ දිසාවත්, තමන්කඩුව දිසාව ලෙස ගලගම දිසාවත් ගිවිසුමට අත්සන් කිරීම ප්‍රතික්‍ෂේප කළ අතර ඇහැලේපොළ ප්‍රමුඛ ප්‍රධාන නිලෙමේවරුන් සහ රොබට් බ්‍රවුන්රිග් ඉංග්‍රීසි ආණ්‌ඩුකාර තැන ආදීන් විසින් බුද්ධාගම ආරක්‍ෂා කරන බවත්, සිංහලයන්ගේ සිරිත් විරිත්, චාරිත්‍ර නොකඩවා ආරක්‍ෂා කරන බවටත් දුන් පොරොන්දු හමුවේ අවසානයේ උඩරට ගිවිසුමට අත්සන් තබන ලද බව පැවැසේ. උඩරට ගිවිසුමට සිංහල භාෂාවෙන් අත්සන් තබනු ලැබුවේ මෙතුමාත්, ගලගම දිසාවත් සහ මොණරවිල කැප්පෙට්‌ටිපෙළ යන නිලමේවරුන් පමණක් වීම ඔවුනගෙ දේශප්‍රේaමීත්වය හෙළිකරන සාධකයකි. අනෙකුත් නිලමේවරුන් ගිවිසුමට අත්සන් කළේ ද්‍රවිඩ මිශ්‍ර ග්‍රන්ථාක්‍ෂර භාෂාවෙනි.
කන්ද උඩරට රාජධානිය 1815 දී බ්‍රිතාන්‍යයට යටත් වීමෙන් පසු ගලගොඩ පරපුරට බ්‍රිතාන්‍යයන්ගෙන් බොහෝ කෙණෙහිලිකම් සිදුවිය. උඩරට යටත්වීමට පෙර රජුට පක්‍ෂපාතීව, ඉංග්‍රීසින්ට විරුද්ධව සිටි තමන්ගේ පරපුර ප්‍රගුණ කරන ලද කඩු ශිල්පය, අංගම් ශිල්පය ඉංග්‍රීසින්ට ඉගැන්වීම ප්‍රතික්‍ෂේප කිරීමත් මෙයට හේතු විය හැක. වර්ෂ 1817 - 1818 කාල සීමාවේදී පැනනැගි කන්ද උඩරට බ්‍රිතාන්‍ය විරෝධී අරගලයේදී ගලගොඩ පරපුරේ බහුqතරයක් ක්‍රියාකාරීව එම අරගලයට සම්බන්ධවීම බ්‍රිතාන්‍යය ආණ්‌ඩුවේ මහත් කෝපයට හේතුවිය. උදාහරණයක් ලෙස ගලගොඩ අතපත්තු ලේකම් හෙවත් 1817 හේවාහැට රටේ මහතා 1817 - 18 කැරලි සමයේදී කැරැල්ලට සම්බන්ධව සිටියදී ඌවේ කැලෑ ප්‍රදේශයකදී මරණයට පත්විය. ගලගොඩ කෝට්‌ටේ දිසාව උඩරට කැරැල්ලට එක්‌වීමෙන් පසු 1818 දී අත්අඩංගුවට පත්ව ටික කාලයක් කොළඹ සිර අඩස්‌සියේ පසුවූ අතර පසුව මුරුසි දිවයිනට පිsටුවහල් කරන ලදුව එහිදී මරණයට පත්විය. ගලගොඩ කසකාර ලේකම්ද කැරැල්ලට එක්‌ව සිටි අතර එතුමාද 1817 - 1818 වකවානුවේදී ඌවේදී මරණයට පත්විය. එසේම කැරලි සමයේදී ගලගොඩ අස්‌පන්තියේ නිsලමේගේ දේපළ රාජසන්තක කළ අතර ඔහුගේ පුතා 1820 දී මදුරාසියට පිsටුවහල් කරන ලදී. ගලගොඩ දිසාවගේ තවත් පුතෙකු වූ ගලගොඩ කිරිබණ්‌ඩාද කැරැල්ලට එක්‌වීම නිසා මුරුසියට පිටුවහල් කරන ලදී. ගලගොඩ පේරාදෙණිය ලේකම්ගේ මිණිපිරියක හා විවාහ වී සිටි දෙමෝදර මොහොට්‌ටිරාල සබරගමුවේ කැරලි කටයුතුවලට සම්බන්ධ වී සිටි අතර පසුව මුරුසි දිවයිනට පිටුවහල් කරන ලදී. ගලගොඩ දිසාවගේ එක් දියණියක් විවාහ වී සිටියේ හේණ්‌දෙණියේ නැකැත් කියන බණ්‌ඩා යන අය සමගය. එම විවාහයෙන් ලද එක් දියණියක් කැරැල්ලේ පුරෝගාමී නායකයෙකු වූ කැටකුඹුරේ රාළගේ පුතා හා විවාහ විය. කැටකුඹුරේ රාළගේ ඉඩම් රාජසන්තක කරන ලද අතර පසුව ඔහුද රටින් පිටුවහල් කරන ලදී. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ මහලේකම් පදවිය දැරූ ගලගොඩ දිසාවගේ තවත් පුතෙකු වූ පේරාදෙ=ණිය ලේකම් කැරැල්ලට එක්‌වී සිටි අතර එතුමාද 1818 දී ඌවේ කැලෑ ප්‍රදේශයකදී මිය ගොස් තිබිණි.
මෙයින් පෙනී යන්නේ 1817 - 1818 වකවානුවේදී ගලගොඩ පරපුරේ බොහෝ දෙනෙක් සිංහලේ මහා නිදහස්a අරගලය හෙවත් උඩරට කැරැල්ලේදී රටේ නිදහස සහ ස්‌වාධීනත්වය වෙනුවෙන් සිය ජීවිතය පිදූ බවත්, සිය පරපුරේ මුතුන් මිත්තන්ගේ වීරක්‍රියා නිසා රාජ සම්මානයට පාත්‍රව තම පරපුරට ලැබුණු විශාල දේපළ ඉඩකඩම් ප්‍රමාණයන් අහිමි කර ගත් බවය. එසේම කැරැල්ලට එක් වූ උඩරට ප්‍රභූ පවුල්හි සාමාජිකත්වය ගැන සැලකුවහොත් එක් පරපුරක වැඩිම සාමාජිකයන් පිරිසක් එක් වී ඇත්තේ ගලගොඩ පරපුරෙන් බව පැහැදිලි වේ. එබැවින් වර්තමාන පරපුරේ දැන ගැනීම පිණිස රටේ නිදහස සහ අභිමානය වෙනුවෙන් අති මහත් කැපකිරීම් කළ ගලගොඩ පරපුරේ සැඟවුණු අප්‍රකට තොරතුරු හෙළිදරව් කිරීම සහ ගවේෂණය කිරීම දේශමාමක සැමගේ යුතුකමත් සේ සලකමි.
වෛද්‍ය ඒ.එම්.යූ.ඒ.බී. අදිකාරි
(2010-08-29) දිවයින පුවත්පත් ලිපියකි.
- Blogger Comment
- Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments:
Post a Comment