ගලගොඩපුර 03 -ගලගොඩ නිලමේ සහ සටන් ශූරිය.
තරුණිය සිය වලව්ව තුළට වී දින කිහිපයක් ශෝකයෙන් ගතකර සිය දෙමව්පියන්ට රහසින් නිවසින් පිටව ගොස් දංගමුවේ බණ්‌ඩාරගෙන් පළිගනු පිණිස හොඳින් කඩු ශිල්පය හැදෑරීමට පිරිමි වෙස්‌ගෙන ඉන්දියාවට ගොස් මලයාලි ශිල්පීන් වෙතින් අවුරුදු කිහිපයක් කඩු ශිල්පය හදාරා නැවත ලක්‌දිවට පැමිණ ඇත. ඉන්දියාවේ සිට ලන්දේසි නැවකින් කොළඹට පැමිණි මලයාලි ජාතිකයකු සේ වෙස්‌වලාගෙන සිටි ඇය කොළඹදී ලන්දේසි සහ පහතරට සිංහල දක්‍ෂ කඩු ශිල්පීන් කිහිප දෙනෙකු පරාජයට පත්කර මහත් ප්‍රසිද්ධියට පැමිණ ඇත. ටික දිනකින් මහනුවර කන්ද උඩරට රජු බැහැදැක තමා මලයාලි ජාතික කඩු ශිල්පියෙකු බවත් රජු යටතේ සිටින ඕනෑම කඩු ශිල්පියෙකු හා සටන් වැදී ජයගන්නා ලෙසට අභියෝග කරන බවත් පැවැසීය. එම අභියෝගය බාරගත්තේ එවකට කන්ද උඩරට දක්‍ෂම කඩු ශිල්පියා වූ දංගමුවේ බණ්‌ඩාරය. සිය ආදරණීය පෙම්වතා නිකරුනේ මරා දැමීම නිසා දංගමුවේ බණ්‌ඩාර හා දැඩි වෛරයකින් සිටි ගලගොඩ තරුණිය දැඩි අදිටනින් සටන් වැදුණු අතර ඇයට දංගමුවේ බණ්‌ඩාරයන්ට වඩා අඩි කිහිපයක් අහසේ ඉහළට පැන කරණම් ගසා කඩු ශිල්පයේ යෙදීමට මලයාලි ශිල්පීන් වෙතින් ඉගෙන ගෙන තිබිණි. සටන කෙළවර වූයේ දංගමුවේ බණ්‌ඩාර මරණයට පත්වීමෙනි. රජු තමන්ට සිටි දක්‍ෂම කඩු ශිල්පියා මලයාලි ජාතිකයෙක් වෙතින් මරණයට පත්වීම ගැන මහත් සේ ශෝකයට පත්විය. පිරිමියකු සේ වෙස්‌වලා සිටි සිය ඇඳුම් ඉවත්කර තමා අභියස වැඳ වැටී සිටින සුකුමාල තරුණිය අන් කවරෙකුවත් නොව ගලගොඩ දිසාවගේ දියණිය බව දැනගත් රජු ප්‍රීතියෙන් පිනාගොස් ඇයව බිසෝ වස්‌ත්‍රාභරණයෙන් සරසා ෙද්‍රdaලාවක හිඳුවා මහනුවර නගරය පුරා පෙරහැරකින් ගොස් එම පෙරහැරින්ම ගලගොඩ වලව්වට පිටත් කර හරින ලදී. එසේම ඇයට රජු විසින් ගම්බාර පිරිනැමීම සහ ත්‍යාග පිරිනමා සම්මානයට පාත්‍ර කරන ලදී. සිය ඉදිරි ජීවිත කාලය සිය පෙම්වතා වූ දොඩම්වල බණ්‌ඩාරයන්ට ගෞරව පිණිස අවිවාහකව සිට තමන් උගත් කඩු ශිල්පය සිය පරපුරේ ඥතීන්ට සහ වෙනත් ශිල්පීන්ට ඉගැන්වූ බව මෙම ජන ප්‍රවාදයෙන් පැවැසේ.
උඩරට සමහර රදළවරුන් විශේෂයෙන්ම නායක්‌කාර වංශික රජුන් කෙරෙහි එතරම් ප්‍රසාදයක් නොවූ හෙයින් පහතරට ප්‍රදේශයන්හි සිටි ලන්දේසි, ඉංග්‍රීසි ආක්‍රමණිකයන් සමග නොයෙකුත් කුමන්ත්‍රණයන්හි නියෑලීම රජුට විරුද්ධව නොයෙකුත් කේලාම් කීම, රාජ්‍ය රහස් සහ ආරක්‍ෂක තොරතුරු හෙළිදරව් කිරීම වැනි ජාතිෙද්‍රහී ක්‍රියාවන්හි නියෑලුණි. නමුත් ගලගොඩ පරපුරේ රදළවරු සැමවිටම තමන් රාජකාරි කරන අවධියේ රජවරුන්ට ඉමහත් පක්‍ෂපාතිත්වයක් දැක්‌වූ අතර පහතරට විදේශ ආක්‍රමණිකයාට සෑමවිටම එරෙහිව සිටියේය. අවසාන රජු වූ ශ්‍රී වික්‍රම රජු සම්බන්ධයෙන් වුවද එම රාජපාක්‍ෂිකභාවය වෙනස් නොවීය.
වර්ෂ 1803 දී උඩරට ආක්‍රමණය කළ ඉංග්‍රීසි සේනාංකය සහ එවකට සිටි ගලබොඩ දිසාව හා සබැඳුණු රසවත් ජනප්‍රවාද කිහිපයක් ඇත. එයින් එක් ජනප්‍රවාදයකින් කියවෙන පරිදි පහත රටින් පැමිණි ඉංග්‍රීසි සේනාව මහනුවරට පැමිණෙන විට රජු සහ මහනුවර වැසියන් බොහෝ දෙනෙක් නගරය අතහැර ගොස් සිටි අතර ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ආරක්‍ෂාව සඳහා උඩවෙල ග්‍රාමයට හෝ හඟුරන්කෙතට ගොස් සිටියේය. ආක්‍රමණික ඉංග්‍රීසි හමුදාව රජු සෙවීමට කුඩා කණ්‌ඩායම් වශයෙන් අවට ගම් ප්‍රදේශයන්ට ගොස් ඇත. එක් ඉංග්‍රීසි හේවා කණ්‌ඩායමක් ගලගොඩ වලව්ව ආසන්නයේ පිහිටි මාරස්‌සන තලාව රජමහා විහාර භූමියේ කඳවුරු බැඳ ඇත. එම ඉංග්‍රීසි සේවායින් අවට ගම්වැසියන්ගේ හරක් බලහත්කාරයෙන් ලබාගෙන ආහාරය පිණිස විහාර භූමියයේදීම හරක් මස් පිණිස මරණ ලදී. මස් කැපීමට භාවිත කරන ලද්දේ විහාරගෙයි උළු වස්‌සේ පඩිපොතය. දැනුදු තලාව විහාරස්‌ථානයේ එම පඩිපතෙහි මතුපිට පිහිවලින් කැපී ගිය ආකාරය දක්‌නට ලැබේ. තමන්ගේ වලව්ව ආසන්නයටම ඉංග්‍රීසි සේනා ඛණ්‌ඩය සිදුකරන නොපණත්නම් ආරංචි වූ ගලගොඩ දිසාව මහත් සේ කිපී, සාමාන්‍ය ගැමියෙකුගේ වෙස් වලාගෙන සිය කඩුව තල් අත්තක ඇතුල් පැත්තේ සඟවා තල්අත්ත හිස ආවරණය කිරීමට රැගෙන යන ලෙසින් ඉංගී්‍රසි සේනා ඛණ්‌ඩය කඳවුරු බැඳි සිටි ස්‌ථානයට පැමිණියේය. එම අවස්‌ථාවේ ඉංග්‍රීසි හේවායින් විහාරස්‌ථානය අසල වෙල්යායේ එළිමහනේ විනෝදවෙමින් සිට ඇත. තමන් විනෝද වන ආකාරය දෙස බලාසිටින ගම්වැසියා දුටු ඉංගී්‍රසි හේවායින් කිහිප දෙනෙක් ඔහු සමීපයට පැමිණ උසුළු විසුළු පෑ අතර ක්‍ෂණයකින් තල් අත්ත පසෙකට විසි වූ අතර සිය අතට හසුවුණු කඩුපත වේගයෙන් භ්‍රමණය කරමින් කරණම් ගසමින්, ගලගොඩ දිසාව එම ස්‌ථානයේ සිටි සියලුම ඉංග්‍රීසි හේවායින් ඝාතනය කරන ලද අතර එම සිදුවීම ඉංග්‍රීසින්ට සිතා ගැනීමටත් නොහැකි අයුරින් සිදුවිය. සිදුවූ ලේ වැගිරීම කෙතරම් බලවත් වූයේද යත් දිසාපතිතුමාගේ කඩුව අතට තදින් ඇලී තිබුණු අතර ඇලී තිබුණු කඩුවත් සමගම ශ්‍රී වික්‍රම රාජසිංහ රජු බැහැදැක සිදුවූ සියල්ල හෙළි කළේය. මහත් සන්තෝෂයට පත් රජු රන් කෙණ්‌ඩියෙන්a අතට පැන් වත්කර සියතින්ම ඇලී තිබුණු කඩුව වෙන් කළේය. අනතුරුව රජු තම උර පැළැඳි රන් මුතු මාලය ගලගොඩ දිසාවගේ ගෙලෙහි පළඳවා ගෞරව දක්‌වා ගම්වරද පුදන ලදී. මේ වීරක්‍රියාව නිසා ගලගොඩ පරපුරේ පෙළපත් නාමයට "රන් මුතුපට පැළැඳි" යන විශේෂ ගෞරව නාමයද එක්‌විය.
ඉංග්‍රීසි හේවා ඛණ්‌ඩය සමූල ඝාතනය වීමෙන් පසු බලවත් ලැඡ්ජාවට හා කෝපයට පත් මහනුවර ඉංග්‍රීසි සේනාංකයේ නායකයා කෙසේ හෝ ගලගොඩ දිසාව අල්ලා ගැනීමට කල්පනා කළේය. ජීවග්‍රහයෙන් අල්ලා ගතහොත් එතුමාගේ කඩුශිල්ප ඥනයද ලබාගත හැකි බවට කල්පනා කළේය. ඉංග්‍රීසි හමුදාවට ලැබුණු ඔත්තුවකට අනුව දිසාව වලව්වේදී රාත්‍රිය ගත කළ අවස්‌ථාවක මාරස්‌සන පිහිටි ගලගොඩ වලව්ව වටලන ලදී. උදෑසන පිබිදුණු දිසාවට වලව්වේ මෙහෙකරුවකු විසින් ඉංග්‍රීසි හේවායින් පිරිසක් වලව්ව වටලා ඇති බව දන්වන ලදී. එම අවස්‌ථාවේ මඳක් වැස්‌ස පැවැති හෙයින් වලව්වේ මෙහෙකරුවෙකුට සිය කඩුපත තල් අත්තක සඟවා කිරි දෙවීමට යන අයුරින් ගොස් තල් අත්ත යම් ස්‌ථානයක සඟවා තබන ලෙසද දැන්විය. අනතුරුව දිසාවද කළයක් රැගෙන වතුර ගෙන ඒමට යන මෙහෙකරුවෙකු සේ වෙස් වලාගෙන වලව්වෙන් පිටවිය. කඩිනමින් කලින් පිටව ගිය මෙහෙකරු සඟවා තිබූ කඩුව සොයාගත් දිසාව ඉංග්‍රීසීන් යන මාර්ගයේ කඩවතක් සමීපයේ රැකගෙන සිටියේය. තමන් මුළාකර දිසාව වලව්වෙන් පිටවූ බව තේරුම් ගත් ඉංග්‍රීසි හේවායෝ කඩිනමින් දිසාව ගිය දිසාව ඔස්‌සේ ලුහුබැන්දේය. තමන් රැකගෙන සිටින කඩවතට ඉංග්‍රීසි සේනාව සමීපවෙද්දී අනිත් පසින් ඉංග්‍රීසින් වෙත ළංවී කරණම් ගසමින් ඉංගී්‍රසින්ගේ බෙලිකැපීම දිසාව සිදුකළ අතර මෙය දුටු ඉංග්‍රීසි සේනාව සමග පැමිණි සිංහල හේවායේ බයිනෙත්තුවලින් ඇණ ඉතිරි ඉංග්‍රීසි හේවායෝ මරා දැමීය. සුළු වේලාවකින් දකින්නට ලැබුණේ ඉංග්‍රීසි හේවායන්ගේ කැපී ගිය බෙලි සහ ක්‌වන්ධ රූප ලේ විලක් මැද පතිත වී තිබූ අයුරුය. සිදුවීම හඟුරන්කෙත රජවාසල සිටි ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට දැනගැනීමට ලැබිණි. රජු සියෑසින්ම සිද්ධිය දැක බලාගැනීමට සටන සිදුවූ ස්‌ථානයට පැමිණියේය. රජු පැමිණෙන විට ඉංග්‍රීසි හේවායින්ගේ හිස් වෙනමත් ක්‌වන්ධරූප එකිනෙක මත ගොඩගසා පොත් ගොඩක් සේ තබා තිබිණි. ප්‍රීතියෙන් පිනා ගිය රජු පොත් ගොඩක් සේ මළකඳන් ගොඩ කළේ කවුදැයි විමසූ අතර ඒ ඉංගීසින් සමග පැමිණි සිංහල සේනාවේ හපන්කමක් බව ගලගොඩ දිසාව රජුට සැල කරන ලදී. මහත් සන්තෝෂයට පත් රජු සිය මඟුල් කඩුව දිසාවට පැළඳවූ අතර විශාල ගම්වරයක්‌ද ප්‍රදානය කළේය.
වෛද්‍ය
ඒ.එම්.යූ.ඒ.බී. අදිකාරි
(2010-08-22) දිවයින පුවත්පත් ලිපියකි.
- Blogger Comment
- Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments:
Post a Comment